සහකාර පොලිස් අධිකාරීට පහර දුන් මන්ත්‍රී ජගත් අල්ලන්න පරීක්ෂණ

සහකාර පොලිස්‌ අධිකාරීවරයකුට පහරදුන් බව කියන බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සමෘද්ධි නිලධාරීන් විසින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉදිරිපිට පෙරේදා (29 වැනිදා) සවස උද්ඝෝෂණයක්‌ පැවැත්වූ විරෝධතාවය අතරතුරයි මෙම පහරදීම සිදුව තිබුණේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඊයේ කරුණු වාර්තා කළ අතර සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායමක්‌ද යෙදවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලදාරියකු අනාවරණ කළා.

ඉල්ලීම් කීපයක්‌ මුල්කර ගනිමින් සමෘද්ධි නිලධාරීන් විසින් පෙරේදා සවස ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

උද්ඝෝෂකයන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම වළක්‌වාලීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක්‌ දැරූ අවස්‌ථාවේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා සහ පොලිස්‌ නිලධාරීන් අතර ගැටුමක්‌ ඇතිවූ අතර ඒ මහතා සහකාර පොලිස්‌ අධිකාරිවරයකුට පහරදුන් බවටයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් ජගත් කුමාර මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ පොලිස්‌ නිලධාරීන් තමාට පහරදුන් නිසා තමාද පෙරළා ඔවුන්ට පහරදුන් බවයි.

මෙම සිද්ධියට අදාළ වීඩියෝ පට කීපයක්‌ද පොලිසිය විසින් ලබාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක වන බවද පොලිසිය සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close