මහින්දගේ බැටන් පොලු නිවේදනයට ජේ සී අලවතුවලගෙන් ප්‍රතිචාර

බැටන් ප්‍රහාරවලින් හෝ කදුළු ගෑස්වලින් ප්‍රශ්න විසදිය නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකර ඇති ප්‍රකාශය ඔහුගේ අතීතය පිළිබද පාපොච්චාරණයක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට බැටන් ප්‍රහාරවලට කදුලු ගෑස්වලට අමතරව වෙඩ් උන්ඩවලින්ද විසදුම් ලබාදුන් බවයි.
අතිශය සාධාරණ වූ රතුපස්වල ජල ගැටලුවේදී තරුණයින් 3න් දෙනකු සාහසික ලෙස ඝාතනය වූ ඉකුත් රජය සමයේ නායකත්වය දැරූ රාජපක්ෂ මහතා අද කදුලු ගෑස් හා බැටන් ප්‍රහාර නොගැලපෙන බවට ප්‍රකාශ කිරීම ජනතාව මිය ගොස් යළි උපත ලබා ඇතැයි සිතමින් සිදුකරන්නේදැයි සැක මතුවන බවයි මන්ත්‍රීවරයා සදහන් කරන්නේ.
පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධ කටුනායක උද්ඝෝෂනයේදී රොෂේන් චානකගේ ජීවිතය උදුරාගනු ලැබුවේද අද සර්ව සාධාරණ පුද්ගලයකු ලෙස පෙන්වීමට තැත් කරන රාජපක්ෂ යුගයේදී බවද අලවතුවල මහතා සදහන් කරනවා.
ධීවර විරෝධතාවයේදී හලාවත ඇන්තනීගේ ජීවිතයද වෙඩි උණ්ඩයකට බිළි කළ පාලනයක් තුල නායකත්වය දැරුවේ කවුදැයි තමන් ප්‍රශ්න කරන බවද ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළා.
වර්තමානයේදී රජය අතිශය සාධාරණ අයුරින් විරෝධතාවයන්ටද ඉඩක් ලබාදී ඇති බැවින් එය දඩමීමා කර ගනිමින් රජ අස්ථාවර කිරීමට කිසිවකුට ඉඩ ලබාදීමට රජය සූදානම් නොමැති බවද මන්ත්‍රීවරයා සදහන් කරනවා. එබැවින් කිඹුල් කදුලු හෙළන්නන්ගෙන් ජනතාවට කිසිවක් අපේක්ෂා කළ නොහැකි බවත් රජයට ඔවුන්ගේ උපදෙස් අනවශ්‍ය බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: