හෝ ගානා පොකුණේ සම්මානලාභී ගුරුතුමිය කියන කතාව

ශිල්පිනියක් විදියට මා කැමැතියි එහි තිබෙන සජීව බවට. මට, මගේ ප්‍රේක්ෂකයන් පෙනෙනවා. ඒ මොහොතේ අප විඳීන දේ ඇත්තට ම සුන්දරයි. නමුත් චිත්‍රපටයක් ප්‍රින්ට් කරාට පස්සේ ඒක එසේමයි. නමුත් වේදිකාවේ හරියට අපේ ජීවිතය වගෙයි. ඒ ඒ මොහොත වෙනස් කරමින්, සමබර කරමින්, හුස්ම ගනිමින් යා හැකි මාධ්‍යයක්. ඒ තත්ත්වය මට කිසිම දිනෙක සිනමාවේ දී ලැබෙන්නේ නැහැ.

කොළොම්පුරවරයේ උන්නු උමා ටීචර් හද්ද පිටිසර ගම්මානයකට එන්නේ කාලයක පටන් ඇගේ හිතේ තිබුණු හීනයක් සැබෑකර ගන්න හිතාගෙන. ගම්මානයටම තියෙන එකම බස්එකේ නැඟලා එන අතරමඟදි ඈ ඇතුළු ගම්මුන්ට සිද්ධ වෙන්නේ අකරතැබ්බයකට මුහුණ දෙන්න. ඒ සුපුරුදු විදියට බස් එක එදත් මඟ නතර වුණා. බස් එකෙන් බැස්ස උමා ටීචර් බස් එක තල්ලු කරන කණ්ඩායමට සහභාගි වුණේ ස්ව කැමැත්තෙන්. මේ අමුතු ගැහැනු ළමයා දිහා හැමෝම බැලුවේ අමුතුවට. ඒත් ඒ අමුතු ගෑනු ළමයට පසුගිය දවස්වල සම්මානයකුත් හිමිවුණා. ඒ පසුගිය දවස්වල පැවැතුණු සරසවිය සම්මාන උලෙළේ දී හොඳම නැඟී එන නිළිය විදියට. මේ අනසූයා සුබසිංහ.

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ උමා ටීචර්ගේ රඟපෑමටයි ඔබට මේ සම්මානය හිමිවන්නේ. ඒත් ඔබ සම්මානය ගන්න ඒ මොහොතේ එතැන සිටියේ නැහැ?

මා මගේ ආචාර්ය උපාධිය කරන්න ඕස්ට්‍රේලියා වික්ටෝරියා විශ්වවිද්‍යාලයට පිවිසිලයි සිටින්නේ. එහි අවසන් වසරේ කටයුතුයි මේ දවස්වල සිදුවන්නේ. ඒ කටයුතුත් සමඟ කාර්යබහුල වීම නිසා මට සම්මාන උලෙළට සහභාගි වීමට මගේ රටට එන්න බැරිවුණා. මා වෙනුවට තාත්තා ගිහින් සම්මානය ලබා ගත්තා.

ඔබට සම්මානය ලැබුණු බව දැන ගත්තේ කොහොම ද?

ආරාධනා පත්‍රයක් කලින් ලැබුණු නිසා සම්මාන උලෙළට ආරාධනාවක් තිබෙන බව කලින් ම දැන ගත්තා. ඒ නිසා මා තාත්තාට පැවසුවේ සම්මාන උලෙළට සහභාගි වන්න කියලයි. සම්මානය ලැබෙන වග කලින් ම මා දන්නේ නැහැ. නමුත් සරසවිය සම්මාන උලෙළට සහභාගි වුණු ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා සම්මානය ලැබුණු මොහොතේ ම මට පණිවුඩයක් තබා තිබුණා.

ඒ අවස්ථාවේ ඔබගේ සිතේ ඇතිවුණේ මොන වගේ හැඟීමක් ද?

අගය කිරීමේ දී යම් ප්‍රහර්ෂයක් තිබෙනවා තමයි. ඒ අගය කිරීම වටිනවා. මොන සම්මාන ලැබුණත් මා නිතරම සිතන්නේ ඊළඟට මා ගත යුතු පියවර කුමක් ද යන්න පිළිබඳවයි. එහෙම නැතිව සම්මානවල ඇලී ගැලී ඉන්න මා කැමැති නැහැ. ඉන් කියැවෙන්නේ සම්මානයක් අගය කරන්නේ නැහැ කියන එකනම් නොවෙයි. ඒ සම්මානය මට වටිනවා. ඒ සම්මානය ලැබීම ගැන මගේ සිතේ තිබෙන්නේ සතුටක්. නමුත් මේ දවස්වල මගේ ඉල්ලකය වී තිබෙන්නේ මගේ ආචාර්ය උපාධියේ කටයුතු අවසන් කිරීම සඳහායි.

ඔබ සිනමාවට රංගනයෙන් සහභාගි වුණු පළමු අවස්ථාවේ ම සම්මානයක් ලැබෙනවා. ඒ ගැන කියන්න තිබෙන්නේ කුමක් ද?

මා තවම සිනමාව ගැන දන්න දේ ගොඩක් අඩුයි. ඒ නිසා අප තවම සිටින්නේ මුල් අවධියේයි. සිනමාව ගැන දැනට තිබෙනවාට වඩා යම් අධ්‍යයනයක් මා තුළ තිබිය යුතු බවයි මා සිතන්නේ. ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තව අත්දැකීම් ලබා ගැනීමට තව තවත් වැඩකළ යුතුයි. ඒ නිසා සිනමාව ගැන දිගු බලාපොරොත්තුවක් මගේ සිතේ තියෙනවා. සම්මානය ලැබුණාට පස්සේ කුමක් ද කළ යුත්තේ කියලයි මා සිතිය යුත්තේ. ඊළඟට නිර්මාණයක් හරහා මොනවගේ අත්දැකීමක් ද ලැබිය හැකි වන්නේ යන කාරණා සඳහායි මගේ අවධානය යොමු වී තිබෙන්නේ. එය සිනමාවට වගේ ම වේදිකාව වැනි කලා ක්ෂේත්‍රවලටත් අදාළයි. මගේ රංගනය ගැන මට ස්වයං විවේචනයක් තිබෙනවා නම් හෝ අනෙක් දෙයක් සම්බන්ධයෙන් ඒ කාරණා ගවේෂණය කිරීමටයි මගේ අවධානය යොමු වී තිබෙන්නේ. ඒ නිසා මා සම්මාන පස්සේ දුවන්නේ නැහැ. සම්මාන ලැබුණත් නොලැබුණත් මා මගේ කාර්ය සිදුකරනවා.

මේ වනවිට ඔබ වේදිකාවෙදිත් සම්මාන ලබාගත් රංගන ශිල්පිනියක්.

බොහෝ සම්මාන ලබාගෙන නැහැ. රාජ්‍ය නාට්‍ය උලෙළේ දී ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘කලම්බෝ කලම්බෝ’ වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම නිළියත්, පියල් කාරියවසම්ගේ ‘මාස්ටර් බිල්ඩර්’ වෙනුවෙන් හොඳම සහය නිළියත් ලෙස මා සම්මාන ලැබුවා.

ඉදිරි නිර්මාණ කටයුතුවලට ඔබගේ රංගන දායකත්වය ලබා දෙන්නේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව ද?

සිනමාව හෝ වේදිකාවට යළිත් රංගනයෙන් දායක වුණොත් ඒ සියල්ල සිදුවන්නේ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ. මගේ දැන් අවශ්‍යතාව වන්නේ මගේ නිර්මාණ සමඟ වැඩකිරීමයි. ඉන් අදහස් කරන්නේ මා වෙනත් නිර්මාණකරුවන්ගේ නිර්මාණත් සමඟ කටයුතු නොකරනවා කියලා නොවෙයි. ඉදිරියේදි මා එවැනි නිර්මාණවලටත් සහභාගි වෙනවා.

මේ වනවිට ඔබට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබිලා ද තිබෙන්නේ?

එක් සිනමා නිර්මාණයකට දැනටමත් මට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ කුමක් ද යන්න පසුව සඳහන් කරන්නම්.

ඔබ වඩාත් ආදරය කරන්නේ සිනමාවට ද? වේදිකාවට ද?

අනිවාර්යයෙන් ම කතා දෙකක් නැහැ. මා වඩාත් ආදරය කරන්නේ වේදිකාවටයි.

ඒ ඇයි?

මා දිගටම වේදිකාවේ සිටි රංගන ශිලිපිනියක් වීම එක් හේතුවක්. මා තවම සිනමාවට සම්බන්ධ වී තිබෙන්නේ එක් නිර්මාණයක් සඳහා පමණයි. කොහොම නමුත් වේදිකාවේ දී ලැබෙන අත්දැකීම චිත්‍රපටයක් ඇතුළේ ලැබෙන්නේ නැහැ. නාට්‍ය කලාව ඇතුළේ දි අප ආමන්ත්‍රණය කරන්නේ පුංචි ප්‍රේක්ෂාගාරයකටයි. ඒ ඇතුළේ තිබෙන තත්ත්වයට මා බොහොම කැමැතියි. අනෙක් කාරණය නම් මගේ අධ්‍යාපනය ඇතුළු අනෙක් දේ ඉලක්ක ගත කරලා තිබෙන්නේ වේදිකාව හරහායි. ඒ නිසයි ඒක මගේ ප්‍රියතම අංශය බවට පත්වෙලා තිබෙන්නේ. ඒ වගේ ම වේදිකාවේ තිබෙන මනුෂ්‍ය සම්බන්ධතාවලට වඩා සිනමාවේ මනුෂ්‍ය සම්බන්ධතා වෙනස් ස්වරූපයක් ගන්නවා. පොදුවේ සිනමා නිර්මාණවල මූල්‍යමය කටයුත්තට මූලිකත්වය ලබාදීලයි ඒවා නිර්මාණය වන්නේ. මා එසේ පවසන්නේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය ගැන නොවෙයි.

ඔබ ඔය පවසන්නේ වේදිකාවේදී ලැබෙන සජීව බවට කැමැති වග ද?

ඔව්. ශිල්පිනියක් විදියට මා කැමැතියි එහි තිබෙන සජීව බවට. මට, මගේ ප්‍රේක්ෂකයන් පෙනෙනවා. ඒ මොහොතේ අප විඳීන දේ ඇත්තට ම සුන්දරයි. නමුත් චිත්‍රපටයක් ප්‍රින්ට් කරාට පස්සේ ඒක එසේමයි. නමුත් වේදිකාවේ හරියට අපේ ජීවිතය වගෙයි. ඒ ඒ මොහොත වෙනස් කරමින්, සමබර කරමින්, හුස්ම ගනිමින් යා හැකි මාධ්‍යයක්. ඒ තත්ත්වය මට කිසිම දිනෙක සිනමාවේ දී ලැබෙන්නේ නැහැ. මේ මාධ්‍ය දෙක දෙකක්. එය දෙආකාරයෙනුයි අප ගත යුත්තේ. මේ මාධ්‍ය දෙක සමාන කිරීමත් වැරැද්දක්.

ඔබගේ අධ්‍යාපන කටයුතුවල මේ දවස්වල කෙරෙන්නේ මොනවගේ දේවල් ද?

මේ දවස්වල මගේ ආචාර්ය උපාධියේ ඉදිරිපත් කළ යුතු නිර්මාණ කටයුත්තට සූදානම් වෙමිනුයි ඉන්නේ. තීසිස් එකක් හා ප්‍රඩක්ෂන් කියන දෙක ම ඒ සඳහා අවශ්‍යයි. මගේ පර්යේෂණයට අදාළ විදියට පුහුණුවක් මඟින් එය පර්යේෂණයක ආකාරයෙන් ගවේෂණය කළ යුතුයි. කෝලම් සම්ප්‍රදාය මූලික කරගනිමිනුයි මේ කටයුතු සිදුවන්නේ. එහි එක්තරා ප්‍රභවයක් නැත්නම් විකාශයක් දෙස බලාගෙනයි පර්යේෂණය සිදුවන්නේ. එය එක්තරා මොහොතක නවතිනවා. ඉන්පසුව එය තවදුරටත් විකාශය වුණොත් කොයි වගේ තත්ත්වයකින් ඉදිරිපත් කළ හැකි ද යන්නයි මගේ පර්යේෂණ ප්‍රශ්නය වන්නේ. ඒ සඳහා මා යම් ඉදිරිපත් කිරීමක් කළ යුතුයි. ඊට පිටපතක් ලියමින්, නිර්මාණයක් මා ප්‍රායෝගිකව ඉදිරිපත් කළ යුතුයි. ඒ කටයුතු කිරීමටයි මා මේ දවස්වල වෙහෙසෙන්නේ. එහි කටයුතු සඳහා මා කොහොමත් මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඒ කටයුතු සඳහා යොදා ගන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින ශිල්පීන්ව ද? නැත්නම් අපේ රටේ ශිල්පීන්ව ද?

මේ රටේ සිටින අය බොහෝ කාර්යබහුලයි. ඔවුන් මට උවමනා ආකාරයෙන් ඒ කටයුතු ඉදිරිපත් කිරීමට දන්නේ නැහැ. ඒ නිසා ඒ කටයුතු සඳහා යොදා ගැනීමට සිදුවන්නේ අපේ රටේ ම රංගන ශිල්පීන්වයි. ඔවුන්ම පුහුණු කර ඉදිරිපත් කිරීම සඳහා මා ඔවුන්ව ඕස්ට්‍රේලියාවට රැගෙන යා යුතු වෙනවා.

මේ කටයුතුවලින් පස්සේ අපට ඔබව දකින්නට ලැබෙන්නේ අධ්‍යක්ෂවරිය කියන භුමිකාව හරහා ද?

සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. අධ්‍යාපන කටයුතුවලට කෙරෙන නිර්මාණය ලියලා, අධ්‍යක්ෂණය කරන්නේත් මමමයි. මීට පෙරත් මා එවැනි අධ්‍යක්ෂණ කටයුතුවලට සහභාගි වෙලා තිබෙනවා. කොහොමත් දිගින් දිගටම අධ්‍යක්ෂණය හා පිටපත් ලිවීමේ කටයුතුවල මා නියැළේවි. ඒ අතර රංගන කටයුතුවලත් නියැළේවි.(Sarasaviya)

ඔබගේ අදහස අපට කියන්න

Close