නව නායකයකුට කාලය හරි / මහින්ද ට්විටර් ඔස්සේ කියයි

තමන්ඉදිරි මැතිවරණවලට එක්වන්නේ ජයග්‍රහණය කිරීමට මිස සිතා මතා පරාජයවීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද ට්විටර් ගිණුම ඔස්සේ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
පවත්නා තත්ත්වය තුල නව නායකයකු රටට අවශ්‍ය කර ඇති බවද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කර තිබෙනවා.
මේ එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත්වූ ප්‍රශ්න හා ඊට හිමිවූ පිලිතුරු කිහිපයක්.

ප්‍රශ්නය – ඔබට නැවත රටේ නායකත්වය ලැබුණහොත් අලුතෙන් මොනවාද කරන්නේ ?

පිළිතුර – කවුරුන් මේ රට පාලනය කළත් රටේත්, වත්මන් හා අනාගත පරම්පරාවලත්  යහපත වෙනුවෙන් නිවැරැදි දේ කළ යුතුයි.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කටයුතු කළොත් පක්ෂ අනුශාසක වශයෙන් ඔබ ඔහුට සහයෝගය දෙනවාද ?

පිළිතුර – පක්ෂය ඒ අවස්ථාවේදී ගන්නා තීරණය අනුව මගේ ස්ථාවරයද වෙනස් වෙනවා.

ප්‍රශ්නය – හම්බන්තොට කර්මාන්ත පුරයට ඔබ විරුද්ධ වීම සම්බන්ධයෙන් චීන තානාපතිවරයා අසතුට පළ කළා ද?

පිළිතුර – ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වී තිබෙනවා.

ප්‍රශ්නය – හම්බන්තොට ඉඩම් විකුණනවාට විරුද්ධ ඔබ සාම්පූර් හි ඉඩම් විදේශිකයන්ට විකුණුවා නේද ?

පිළිතුර – සාම්පූර් සහ නොරෙච්චෝලේ ව්‍යාපෘති ශ්‍රී ලංකාව ආණ්ඩුවට අයත් ව්‍යාපෘති. සාම්පූර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තිබුණේ ඉන්දියාවෙන්. අපි කිසිදු අවස්ථාවකට ඉඩම් විකුණුවේ නැහැ.

ප්‍රශ්නය – දේශපාලන වාසි සඳහා ස්වාමීන් වහන්සේලා යොදාගන්නා බවට චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ අදහස ?

පිළිතුර – රටේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම ආගමික නායකයන් ඉදිරියට පැමිණියා. එයත් දේශපාලනයත් අතර කිසිදු සම්බන්ධයක් නැහැ.

ප්‍රශ්නය – ඔබේ චීන සංචාරයේ අරමුණ කුමක් ද? ඔබ චීනයට දුන් පොරොන්දු මොනවාද ? චීනය ඔබෙන් මොනවාද ඉල්ලුවේ ?

පිළිතුර – චීනය සෑමවිටම අපේ මිත්‍රයෙක්. ඔවුන්ගේ සහයෝගය අපි අගය කරනවා. ජනතාව අවතැන් නොකරමින්, පරිසරයට හානි කරමින් මුල් ගිවිසුමට අනුව හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි මං ඉල්ලා සිටියා.

ප්‍රශ්නය – විල්පත්තුවේ වන සංහාරයක් වන බවට චෝදනා එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ?

පිළිතුර – සංවර්ධනය හෝ යළි පදිංචි කිරීම පරිසරය විනාශ කිරීම කිසිසේත්ම නොකළ යුත්තක්.

ප්‍රශ්නය – ඔබේ  සහෝදරයෙක් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසෙනවා. එය ඇත්තක් ද ?

පිළිතුර – ව්‍යවස්ථානුකූලව සුදුසුකම් සපුරන ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි.

ප්‍රශ්නය – පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට හේතු මොනවාදැයි හඳුනාගත්තා ද ?

පිළිතුර – ඔව්, හේතු රැසක් තිබෙනවා. අපි ඒ පිළිබඳ විශ්ලේෂණය කළා. අපි අනාගතයට සූදානම්.

ප්‍රශ්නය – ඔබ නැවත බලයට පැමිණීමට සූදානම් ද ? ඒ සඳහා පියවර ගන්නේ කවදාද ?

පිළිතුර – ජනතාව සූදානම් නම්, එය ඉතා ඉක්මනින් සිදුවේවි.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: